අද මම කියන්න යන්නෙත් කාන්තාවන් සම්බන්ධ සිදුවීමක්. ඔෆීස් එකේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ ඉන්න එකේ මගේ මාතෘකාවල වැඩි ප්‍රතිශතයක් කාන්තාවන්ට වෙන්වීම පුදුමයක් නෙවෙයිනේ. අනික ඉතිං මම පිරිමියෙක් වුණු එකේ කාන්තාවන් ගැන වැඩියෙන් කතා කිරීම ස්වභාවිකයිනේ…:D
රාජකාරී අතරතුර අපිට නිදහසේ කතා බහ කරන්න තියෙන කාලය බොහෝම අල්පයි. විශේෂයෙන් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් පිටත අයත් එක්ක නම් කතා කරන්න හම්බවෙන්නෙම නැහැ. එහෙම වුනත් ලද අවස්ථාවන් වල කතාබහ කරන දේවල් වලින් තමයි අපි අපි ගොඩාක් අනෝන්‍ය අවබෝධය ගොඩනඟාගන්නේ.
බොහෝම හුරුබුහුටි ලෙස තමන්ගේ වැඩකටයුතු, රාජකාරී අකුරටම ඉටුකරන අපේ ඉහළපෙළේ නිලධාරිනියක් එක්ක කතා කරන්න හම්බුවුනේ අහඹු ලෙස කෑම කාමරයෙදියි. ඒකට හේතුව එදා මට උදේට කෑම කන්න අමතක වුණු හින්දා දිවා ආහාරය ඉක්මනට ගැනීමට අවශ්‍ය වුණු නිසයි.
“අද මොකද …… ඉක්මනින්ම” නිලධාරිනිය ඇහුවා. මමත් නොපැකිළිව හේතුව කිව්වා.
“ආ ආ එහෙමද? මට නං දවල් දොළහ වෙද්දි බඩගිනි වෙනවා. මොකද මම උදේට ඉක්මනටම කෑම කනවනෙ” නිළධාරිනිය කිව්වා.
මං අහපු ප්‍රශ්නත් එක්ක ඇයගේ දිනයේ වැඩකටයුතු ගැන මෙහෙම කිව්වා.
“මං උදේ 3.30, 4 වගේ වෙද්දි නැගිටිනවා. මොකද බබාව ඉස්කොලේ යවන්න ඉස්සෙල්ලා කෑම හදන්න ඕන හින්දා. උදේ 6 ට එයාව යවන්න ඕන. හස්බන්ඩ්ටත් කෑම හදලා දෙන්න ඕන, ඉතිං එයාට ඉක්මණට ඔෆිස් යන්නත් තියෙන හින්දා මාව උදේම ගෙනත් ඇරලනවා. ඉතිං හැමදාම හත හමාර වෙද්දි ඔෆිස් එනවා. මෙහෙ ඇවිත් කෑම කන්න බැරි හින්දා උදේ හතට විතර ගෙදරින් එද්දිම මොනාහරි ටිකක් බඩට දාගන්නවා”
මා හැකිතාක් උදෑසනින් බැංකුවට ගියත් මට පෙර එහි පැමින සිනාමුසු මුවින් සැවොම පිළිගන්නා මේ නිලධාරිනියගේ දවසේ ඇරඹුම ගැන මට කිව්වා.
“මමම ගෙදර වැඩ කරන්න ඕනනේ, ඒක හින්දා හරි මහන්සියි”
“ඉතිං මිස් දැං ගෙදර ගිහිං ආයෙත් උයන්න ඕනද?”
“නැතුව??? දැං මං ගිහිල්ලා උයලා, ගෙවල් අස්කරන්න ඕන, ඉතිං නිදාගන්න කොට රෑ 11වත් වෙනවා”
නැවත වරක් උදැසන 3.30 ට 4ට නැඟිටීමට අවශ්‍යවන බවට නැවත වරක් කීමට අවශ්‍ය වුනේ නැහැ. දවසට පැය හතරක්, පහක් විතරක් නිදාගෙන, දිවා කාලයේදී මානසික පීඩනය ඉහළින් තියෙන රැකියාවක් කරන්න සිද්ධ වීම මට නං හිතාගන්න බැරිවුණා. ඒත් මේක ගැන මම අපේ අම්මා එක්ක කතා කරනකොට, අපි ඉස්කොලේ යන කාලේ අම්මගේ දින චර්යාවත් මෙහෙමයි කියලා කිව්වා.
මං හිතන්නේ ලංකාවේ කාන්තාවන්ගෙන් වැඩි ප්‍රතිශතයකගේ දින චර්යාව මීට සමාන වූවක්. පිරිමින් කොතරම් රාජකාරියේ නිරත වුනත් නිවස සම්බන්ධයෙන් නිදහස්භාවයක් දරනවා. සාම්ප්‍රදායික සමාජයේ කාන්තාවගේ භූමිකාව ඉක්මවා ගොස්, මේ වන විට කාන්තාව රැකියාව සිදුකිරීම අනිවාර්ය තත්ත්වයක් බවට පත්වී ගෙන එන කොට පවුලක කාන්තාව විසින් දරන ලද භූමිකාවේ වෙනසක් සිදුකිරීම අනිවාර්ය වූවක්.
කාන්තා ගැටළු ගැන මේ තියෙන්නේ භූමියේ උදාහරණ. මේවට ආමන්ත්‍රණය කිරීමට නම් ඒ පිළිබඳව වන ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි. එක් පසෙකින් ක්ෂණික ආහාර වෙත පුරුදු වීමත්, සාම්ප්‍රදායික පිරිමියා විසින් මඟහරින ලද ගෘහ කටයුතු සඳහා සහයෝගය ලබාදීමත් අත්‍යවශ්‍ය වූවක්.


ප්‍රතිචාර
මල්ලි, කසාදයක් කර ගත්තොත් නරක ද? ඔෆිස් එකේ ඉන්න ගෑනු ගැන දුක් වෙවී ඉන්නෙ.
ගෑනු වැඩට යවල හම්බකර ගන්නෙ කොන්ද පන නැති පිරිමි.
අද තමයි මම මේ බ්ලොග් එකට ආවෙ….මේ කතාවෙ කාන්තාව නියෝජනය කරන්නෙ ලංකාවෙ බහුතරයක් කාන්තාවන්ව. රැකියාව, දරුවන්, ගෙදර වැඩ, ස්වාමියා මේව අතර යාන්ත්‍රිකව ගෙවෙනෙ ජීවිතයක් තමයි බොහෝ කාන්තාවන්ට තියෙන්නෙ. මේ තත්ත්වය වෙනස් කරන්න ප්‍රභල ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා.එයට පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවයත් දායක වෙන්න ඕන.
මට ඇතිවෙලා තියන ලොකුම ගැටලුව තමයි ආදරය කරන කාලෙදි සෑම කටයුත්තකදීම දෙදෙනා අතර තියන සහයෝගය විවාහ උනාම නැති වෙලා යන්නෙ කොහොමද කියන එක. බොහෝ ගැහැණු අය හිතාගෙන ඉන්නෙ ගෙදර දොර වැඩ විවාහයත් එක්ක තමන්ට දායාද වෙන දේවල් ඒවා තමන්ගේ උරුමයන් කියලා. විවාහ උනාට පස්සෙ අම්මල නැන්දම්මලා ආදී නෑ පරපුර උනත් දන්නව බොහොම අගේට ගැහැණියගෙ පැත්තට ගෙදර දොර වැඩ කටයුතු ටික තල්ලු කරන්න.
ආදරය කරන කලෙදි තමන්ගෙ ගෑණු ළමයව මලක් වගේ බලාගන්න අය ඇයි විවාහ උනාට පස්සෙ ඒ ගැණු ළමයව තමන්ගෙ වැඩ කාරිය කර ගන්නෙ. විවාහයට පෙර තිබුන ආකල්පයම ඇයි විවාහයෙන් පස්සෙත් පිරිමින් තුල පවතින්නේ නැත්තෙ. මම මේ comment එක ලිව්වෙ කාන්තා විමුක්තිය, සම අයිතිවාසිකම් වගේ බරපතල කාරනා මතු කරන්න නෙවේ. මේ තත්ත්වය මගෙ යෙහෙළියන් අතර මම අත් දැකලා තියන නිසාත් මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වෙන්න ඕන කියලා හිතුන නිසාත්. මම දකින විදිහට ගැහැණිය වැඩ කරන කොට පිරිමියා සාලෙට වෙලා පත්තරයක් කියවනව නම් (විශේෂයෙන්ම රැකියාවක් කරන කාන්තාවක්) එතන සැබෑ ආදරයක් නෑ…ඒක කෘතිම සබදතාවයක් විතරයි.විවාහයෙන් පස්සෙ සහයෝගයෙන් වැඩ කිරීම අපේ සමාජයේ ඇතිවිය යුතු විශාල සමාජ පෙරලියක් ලෙස තමයි මම දකින්නෙ(ඒත් එය සිදුවිය යුත්තේ දෙදෙනා අතර ඇතිවන අවබෝධයෙන් මිසක් ගැහැණිය පූලාන් දේවියක් වීම තුලින් නම් නෙවෙයි)
කාන්තාවෝ ටික ගෙදර හිටියා නම් මේ ප්‍රශ්ණ නෑ.