එක්වෙලා දිනනවද? තනිවෙලා පරදිනවද??

අපිට පොඩි කාලේ උගන්වන පරමාදර්ශයන් බොහෝමයක් ප්‍රායෝගිකව විහිළු සහගත වෙනවා කියන එක සත්‍යයක්. ඒකට පොඩි උදාහරණයක් විදිහට ගත්තෝත් “සමඟිය බලය වේ” කියල පොඩි කාලේ කටපාඩම් ‍කෙරෙව්වට මොකද වැඩිහිටියෝ වුණහම ඒක කොච්චර දුරට ප්‍රායෝගිකව පාවිච්චි කරනවාද කියන එක ගැටළුවක්. අනික් අතට අපි ජීවත් වෙන සමාජ‍ය සමඟියෙන් පෙනී සිටීම කොතෙක් පිළිගන්නවද කියලත් බලන්න ඕන.

මම මෙහෙම ආරම්භයක් ගත්තේ ඕනෑම වෘත්තියකදි මතුවන පොදු ප්‍රශ්ණයක් ගැන මගේ අත්දැකීමක් විස්තර කරන්න.

කිසියම් වෘත්තියක නිරත‍ වෙනකොට අපිට සිද්ධ වෙනවා නිශ්චිත වූ නීති රීති පද්ධතියකට, ‍කොන්දේසි, එකඟතාවන්, සම්ප්‍රදායන් වලට එකඟ‍ වෙන්න. මේවා බොහෝමයක් දේවලට අපි ලිඛිතව එකඟත්වයක් පළකරනවා. එතනදි අපේ රැකියාව, වැටුප, උසස් වීම් ලබාගත හැකි ආකාරය, වෘත්තීය අයිතීන් හා වගකීම් වගේ දේවල් අයත් වෙනවා. මේවාට ගිවිසුම් වලට එළඹෙන්නේ සේව්‍යා සහ සේවකයා අතරයි. සමුහකට රැකියා ලබදෙන පාර්ශවය සේව්‍යා (හිමිකරුවා) කොහොමටත් බලවත් පුද්ගලයෙක්. බොහෝ දුරට ප්‍රාග්ධන හිමිකාරත්වය තියෙන්නේ ඔහු අතේ. ඒත් මානව ගණුදෙණුවල ශිෂ්ඨත්වය වඩාත් ගොඩනැංවෙන විට, සේවකයින් සාමූහිකව පෙනීසිටීමට පටන්ගැනීමත් එක්ක සේව්‍යා සමඟ ගණුදෙණු කිරීමේදී සේවක පිරිස විසින් විධිමත් සංවිධානයක් ගොඩ නඟාගැනීමට සමත් වුණා. ඒ තමයි වෘත්තීය සමිති කියන්නේ.

අපේ බැංකු ක්ෂේත්‍රයත් බොහෝම ශක්තිමත් යැයි කියන වෘත්තීය සමිති ඉන්නවා කියල කියනවා. (මේවගේ සත්‍ය තත්ත්වය මම ඉදිරියෙදි කියන්නම්) ඒත් මේක එහෙම දෙයක් ගැන නෙවෙයි. වෘත්තිය ගැටළු වලට අපේ පිරිස් මුහුණදෙණ ආකාරය ගැන කියන්නයි.

මේ ළඟදි දවසක අපේ කාර්යාලයේ රැකියාව කරන ස්ථානය සම්බන්ධයෙන් (දෙපාර්තමෙන්තුව පිළිබඳව) ගැටළුවක් මතුවුණා. එතනදි ජේෂ්ඨත්වය පසෙකලා පුද්ගලික සම්බන්ධකමක් මත අදාළ සේවා මාරුව ලබාදී තිබුණා. මෙතනදි සිද්ධවුනු අසාධාරණය සෘජුව බලපෑවේ කිහිපදෙනෙකුට වුණත් ඒක ජේෂ්ඨත්වයට නිගරු කිරීමක් එතන තිබුණු නිසා සෘජුව බල නොපෑ පිරිසත් එකතුව කිසියම් හඬක් නැඟුවානම් එතනදි කිසියම් සාධාරණයක් ලබාගැනීමේ හැකියාවක් තිබුණා.
සමාජයේ සාපෙක්ෂව උගත් යැයි කිව හැකි පිරිසක් මේ වගේ වෙලාවක වැඩ කරපු හැටි හරිම හාස්‍යජනකයි.

මුලින්ම වුණේ සෘජුව පීඩාවට පත්වුනු අය කෝපයෙන් කෑගැසීමයි. ඒක සිද්ධ වුණේ ප්‍රසිද්ධියේ නං නෙවෙයි. දන්න කට්ටියත් එක්ක කතා බහ කරන අතරතුරයි. මේ කාර‍ණයෙන් සෘජුව පීඩා නොවිඳි අය තමන්ට සිද්ධ නොවුණු දෙයක් හැටියට සළකලා අනුකම්පාවෙන් ඔළුව වන වනා හිටියා. යම් සංවිධානාත්මක මැදිහත් වීමකට යෝජනා කළහම මට ලැබු‍ණු පිළිතුර සමස්ත සමාජයේම පරිහානියේ විශාල පැතිකඩක් නිරූපනය වෙනවා කියලා මං හිතනවා. ඒක සාරාංශ කරල ගත්තොත් මෙහෙමයි.

“අපිට බැහැ ලොක්කා තරහා කරගන්න. එහෙම වුණොත් අපේ ඉස්සරහ ප්‍රමෝෂන් වලට ප්‍රශ්ණයක් වෙනවා. මේ වගේ අසාධාරණ වලට ඉස්සරහට යනකොට අන්තිමට අපි විතරයි ඉතිරි වෙන්නේ. කොච්චර කොහොම වුනත් ජොබ් දාලා යන්න බෑනේ. ජීවිතේ කොච්චර දේවල් තියෙනවද අපිට තව. ඔන්න ඔහෙ වෙන දෙයක් වෙද්දෙන් කියලා මේවා ඉවසගෙන ඉන්න එක ‍තමයි හොඳම දේ. අපිට බෑ මේවා වෙනස් කරන්න.”

හිට්ලර්ගේ පාලනය කාලේ මර්ධනය අනෙකා වෙත එල්ල වෙද්දි නිහඬව ඉඳලා අන්තිමට තමන්ව ගොදුරු වෙන‍කොට කවුරුවත් හිටපු නැති දෙයක් ගැන විස්තරයක් බූන්දි සයිට් එකේ තිබුණා මම දැක්කා. ඒ වගේ තවත් කෙනෙකුගේ ප්‍රශ්ණයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ නැතිනම් අන්තිමට තමන්ට විනාශය එද්දි කවුරුවත් ‍ඉතුරු වෙන්නේ නෑ.
මේ සිදුවීම කුඩා එකක් වුණත්, තමන්ගේ පුද්ගල අභිමතාර්ථ ගැන විතරක් හිතලා අසාධාරණයන් වෙනුවෙන් සාමූහිකව පෙනී නොසිටීමේ ආදීනව අපි රටක් විදිහට අත් දකිනවා. (සමහරුන්ට මේ වගේ දේවල් මුල ඉඳලා කියලා දෙන්න වෙනවා) රටේ සිවිල් සමාජයක් ගොඩනැංවීම සඳහා කොච්චර ඩොලර් ප්‍ර මාණයක් වැයකරලා ඇද්ද.
ඇත්තටම “සමඟිය බලය වේ” කියලා පොඩිකාලේ කියලා දෙන්නේ සෙල්ලමටද???

Post a comment or leave a trackback: Trackback URL.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.