ඔබත් බස් එකේ යන කොට වැඩක් ගොඩදානවද?? ඒකට මං…

අද පෝස්ට් එක ලියනකොට බ්ලොග් එකේ පිටුවත් ටිකක් වෙනස් කරා. මොකද මමත් රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය විසින් පවත්වන සිංහල බ්ලොග්කරණ තරඟාවලියට අයැදුම් කරා. ඒකේ විවිධාකාර කොන්දේසි තිබුණා. කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ ඒවා ගැන නං මගේ අවධානයක් නැහැ. කොහොම වුනත් ඉස්කොලේ යන කොල්ලොන්ගේ උත්සාහයට මෙන්න මගේ සුභ පැතුම්.

මේච්චර කල් මම තබපු සටහන් වල යම් ආකාරයක සෘණාත්මක බවක් තිබුණා කියලා කෙනෙක් කිව්වොත් මම ඒක පිළිගන්නවා. මම තබපු ආරම්භක සටහනේ වගේම, තියලා තියෙන නමේ පවා මේ ලක්ෂන තියෙනවා. ඒකට විවිධාකාර හේතු තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව වුණේ කොළඹ‍ කේනද්‍ර වූණු ජීවිතෙන් ඉවත් වීමයි. “කලම්බෝ කලම්බෝ” වේදිකා නාට්‍යයෙත් කියනවනේ ” ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය කොළඹ වුණාට, ලංකාව තියෙන්නේ කොළඹ ඇතුලෙ” කියලා.

ඉතිං කොහොමහරි බැංකුවට හිරවුණු ජීවිතෙන් එළියට එන්න මම අළුත් උපක්‍රම කිහිපයක් පාවිච්චි කරා. මේ ‍බ්ලොග් ලිවිල්ලත් එහෙම එකක්. මගේ හැඳින්වීම ඇතුලෙම තියෙනවා මට දිවා කාල‍ය තුලදි අන්තර්ජාලයේ සැරිසැරීමක් නැහැයි කියලා. මගේ බ්ලොග් එක පවත්වාගැනීමේදී ඒක මට ලොකු පාඩුවක් මොකද, මම මතුකරන ප්‍රශ්ණ වලින් සංවාදයක් ඇතිවීම වැළැක්වෙනවා, ඒ මොහොතේ මම අන්තර්ජාලයේ සැරිසරන්නේ නැති නිසා.

මම මේ බ්ලොග් එක ලියන්නේ රැකියාව කේන්ද්‍ර කරගෙන නිසා, මේ රැකියාව ආරම්භ කළායින් පස්සේ මට සාධනීය ලෙස එහෙමත් නැත්තං ධනාත්මකව බලපාපු දෙයක් ගැනයි දැන් කියන්න යන්නේ.

රැකියාව නිසා ඇතිවුණ ධනාත්මක දෙයක් කියලා කිව්වට මේ දේ සිද්ධ වෙන්නේ රැකියාව පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ වැදගත් කාලය උදා වෙන්නේ ජොබ් එකට බස් එකේ නැංගහමයි. බස් එකේ යනකොට කොච්චර වැදගත් දේ කරන්න පුළුවන්ද කියන එකට ලංකාවේ තරං වෙන උදාහරණ කොහේවත් නැහැ. ඒකට එක උදාහරණයක් තමයි “කාන්තාවන්ට පමණයි” බස්සේවාවකුත් දැන් ආරම්භ වෙලා තියෙන්නේ.

කොහොම වුනත් මට බ්ලොග් එකක ලියන්න පුළුවන් වැදගත් වැඩේ තමයි “පොත් කියවීම”.

මුල්ම කාලයේදී මම කියෙව්වේ පත්තර. ඒ කියන්නේ සති අන්තයේ පත්තරයක් අරගත්තම ඒක සතිය පුරාම කියවන්න පුළුවන්. ඒත් ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයේ අප්‍රසන්නතාවයත්, ඒකාකාරී භාවයත් හින්දා මට හිතුණා පත්තර කියවන එක නවත්තලා පොත් කියෙව්වොත් හොඳයි කියලා. ඒ අනුව සුනේත්‍රා රාජකරුණානායකගේ “සුබෝධාලංකාරය” ‍පොතින් බස් එකේ පොත් කියවීම ආරම්භ කළා. පහුගිය මාස කිහිය ඇතුළේ මම පොත් ගණනාවක්ම කියවලා තියෙනවා.

රැකියාවේ ස්වභාවයත් එක්ක සම්පූර්ණයෙන්ම මඟහැරිලා යන්න තිබුණු දෙයක් වුණු පොත් කියවන්න මට චාන්ස් එකක් ආවේ උදේට බස් එකේ යන‍කොටයි. වෙලාවකට හිතෙනවා හැමදාම රැකියාවට යනකොට හැමදාම පොත් කියවන්න චාන්ස් එකක් හම්බවෙන හින්දා වෙනදට වඩා ඒ වෙනුවෙන් කාලයක් ලැබුනා කියලත්.

මම බස් එකට නඟින්නේ බස් එක ආරම්භ වෙන හරියෙන්මයි. ඒක හින්දා ගොඩාක් වෙලාවට බස්එකේ අයිනක් හම්බ වෙනවා. මුල් හරියේ බස් එක කොටන හින්දා පොතට සෙට් වෙන්නත් වෙලාවක් එනවා. හැබැයි අත්දැකීමෙන් දන්න දේ තමයි බස් එකේ යනකොට කියවන්න පුළුවන් වෙන්නේ “නවකතා” වගේ ඒවා විතරයි. මොකක්හරි ශාස්ත්‍රීය ‍දේවල් නං කියවන්න බෑ. මොකද ලංකාවේ කොන්දොස්තර උපාසකලයි, බස් වල ලෝඩ් කරන මිනිස්සු ප්‍රමාණයයි, ඒ අයගේ පුරුදුයි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

පොරත්වය පෙන්නන්න නෙවෙයි.ඒත් මම බස්එකේදිම කියවලි ඉවරකරපු පොත් ටිකක් තමයි මේ.

1.       සුබෝධාලංකාරය – සුනේත්‍රා රාජකරුණානායක

2.       මුවා මැරූ සලමං – නිශ්ශංක විජේමාන්න

3.       වීදුරු කුඩු කැවුණු කලෙක – පියල් කාරියවසම්

4.        පොදු පුරුෂයා – සුනේත්‍රා රාජකරුණානායක

5.       මළවුංගේ අවුරුදුදා – එදිරිවීර සරත්චන්ද්‍ර

6.       ඊවා ලූනා කී කතන්දර –
නිරූපා රුද්‍රගු

7.       කරුමක්කාර කතාවක්  – ගබිරියෙල් ගාර්ෂියා මාර්කේස් (පරිවර්තනය ගාමිණී වියන්ගොඩ)

8.        නැදි‍මාලේ මිනිහෙක් ගේ නේත්‍රා කෙටිකතා එකතුව

මේවට අමතරව කෑලි කෑලි කියවපු පොතුත් තියෙනවා. කොහෙම වුනත් පොතක් කියවීම ඇතුලේ අපි පුරුදුවෙලා ඉන්න ඒකාකාරී ජීවිතෙන් පිටත‍ ලෝකයක් හැදෙනවා. ඒවගේම පිටස්තර සංවාදයකුත් විවෘත වෙනවා. ඒක මානසික විඩාව අඩුකරගන්න ගොඩාක් උපකාරී‍ වෙනවා කියලත් දැනෙනවා. ඒක හින්දා ඔබටත් පුළුවන්නම් අත්හදා බලන්න. බස් එකේ යන කොට වෙන වැදගත් වැඩ වලට අතගහන්න තියෙනවනම් ඉතිං වෙන බාධා මොකටද? නේද?

Post a comment or leave a trackback: Trackback URL.

ප්‍රතිචාර

  • මගේ ජීවිතය  On සැප්තැම්බර් 19, 2011 at 5:50 ප.ව.

    බොහොම සාධනීය අදහස්.
    සිත්ගන්නසුළු ලිපියක්.
    මමත් බස් එකේ යද්දි පොතක් ගෙනියනවා. ඉඳගෙන යන්න ලැබිච්ච වෙලාවක කියවන්න පුළුවන්නෙ. ඒත් වල ගොඩැලි නැති හොඳ පාරක යන බස් වලදි හෝ එකම මගීන් පිරිසක් අරගෙන දුර යන බස් වල විතරයි :-D
    ඒත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ පොත්නම් ඒ වගේ පාරක යද්දි වුණත් ඒ දුක අමතක කරල කියවන්න පහසු පොත්. :-)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.